Kadulla Books

"පියාඹන්න මල් පෙත්තේ
පියාඹන්න
නැගෙනහිරින් අවර දිගට
උතුරු දෙසින් දකුණු දෙසට 
කැරකීලා ඇවිත් නැවත 
පොළව සිඹින මොහොතේ දීම 
කර දෙන්න කො මට ඕනෑ දෙය"
" වීත්යාට සනීප වෙන්න ."
ශේන්යාට වගේ හත්පෙති මලක් මට ත් තිබුන නම් හිතෙන ,හිතන,පතන බොහෝ අය අප අතර සිටී.මම ත් ඒ අය අතර කෙනෙක් .ළමා ලෝකය තුළ ,ළමා කාලය තුළ ,ළමයා ගේ හදවත මත තැන්පත්ව ඇති දෑ අතර මතක අතර ,තමන් කියවූ පොත පත සහ ඒවායේ ඇති කතන්දර ප්‍රමුඛතාවයක් ගනී.
යොවුන් කතා බහුලව ලියූ රචකයෙක් ලෙස ප්‍රකට  "වලෙන්තීන් කතායෙව් " ගේ කෘති අතර 
" හත්පෙති මල " කතාන්දරය සුවිශේෂී වේ.
අදට වඩා එදා ළමයින් ට ලියන කතන්දර ලියා ඇත්තේ ද විශිෂ්ට කෘති බවට පත්වූයේ ද, ළමයා ගේ ඇසින් ලිවීම හේතුවෙනි .ඒ නිසාවෙනි  ඒ කෘතීන් සහ එහි චරිත - ඒ පොත පත - කතුවරයන් - සිතුවම් ශිල්පීන් දරුවන් ගේ සිත් වල අමරණීය වන්නේ .වීරත්වයයට පාත්‍ර වන්නේ .
දරුවන්ට ලිවීමේදී පමණක් නොවෙයි දරුවන් වෙනුවෙන් කරන බොහෝ නිර්මාණ වන
"දරුවන් මෙහෙමයි හිතන්නේ ."
"දරුවන් මෙහෙමයි ."
යන දුරස්ථ භාවය ඇති ව නිර්මාණය වන නිර්මාණ බොහොමයක් අපට හමුවේ.ඒවා වැඩිහිටි විනිශ්චය මත සමත් විය හැක.සම්මානය ට ද පාත්‍ර විය හැක.එහෙත් ,දරුවන්ගේ ලෝකය තුළ - හදවත තුළ ඒවා ට ඉඩහසර අල්පය . ළමා නිර්මාණය ක ඇති අසීරු බව සහ වගකීම් සහගත බව නොදන්නා  බොහෝ දෙනා සිතන්නේ ළමා සාහිත්‍යය වූ කලී ඉතාම පහසු , තක්සේරු නොකළ යුතු , සිල්ලර , ශානරයක් ලෙසය.එහෙත් එය එසේ නොවේ.
ළමා සාහිත්‍යය ශානරය යනු ඉතාම වගකීම් සහගත , අසීරු , අධ්‍යාපනික , අභ්‍යාස සහ අවබෝධය  මත අනෙකුත් දේට ත් වඩා වඩාත්ම විමසිලිමත් ව කළ යුතු , නියැලිය යුතු ශානරයකි.
එබඳු නිර්මාණ දුලබ ය.
එබඳු දුලබ වටිනා පොතක් මට නැවතත් මුණ ගැසුණි .මා කුඩා කළ කියවා තිබූ හත්පෙති මල පමණක් නොව හත්පෙති මල සහ තවත් කතා  ඇතුලත් ඒ අපූරු පොත යි ඒ.
" වලෙන්තීන් කතායෙව් " නම් අපූරු නිර්මාණ කරුවාගේ පිරුණු හදවත මම මේ කතා සියල්ලෙන් ම දුටුවෙමි . මා එසේ කියන්නේ ඔහුගේ ජීවන අත්දැකීම්  සහ විඳීම්  රැසක් මම මීට පෙර කියවා මෙන්ම අසා දැනගත් නිසාවෙනි .
මේ කතන්දර සියල්ල ඔහුගේ ය.ඒ සියලු කතා වලට අනර්ඝ සිතුවම් ඇන්ඳේ 
"නතාලියා දෙමිදවා."
නම් ඒ අපූරු සිතුවම් ශිල්පිනියයි.
විශේෂ වන්නේ  ඇගේ පළමු සහ අවසාන කෘතිය ද මෙය වීමයි.එහෙත් එය අපගේත් දරුවන් ගේ ලෝකය ට මහත් අලාභය කි.ඈ සක්‍රිය නොවීම . කතායෙව් ගේ අකුරු වලට ඈ ජීවය දුන් අයුරු අපූරුය.අපි කවුරුත් දන්නා 
"ශේන්යා - අත්තම්මා - සහ හත්පෙති මල සදාකාලික මතක ගබඩාව තුළ තැබීමට  තරම් ඇය පොහොසත් විය.
මේ කෘතිය කතන්දර 05 කින් සමන්විත ය. ඒවා නම් 
හත්පෙති මල 
නළාව සහ ජෝගුව
ලී කොටය
බිම් මල්
මුතු ඇටය.
කතා පෙළයි.
ශේන්යා සහ ඇගේ පව්ලික් මල්ලි  අනෙක් කතන්දර වල දී ද වරින් වර අපට හමුවේ.
ශේන්යා වටා ගෙතී ඇති හැම කතාවකම විශේෂත්වය වන්නේ ඈ අර්බුද රැසකට මුහුණ දීම  සහ තනිවම ඈ ඒ සියල්ල විසඳා ගන්නා ආකාරයයි. ඈට ඒ සඳහා බාහිර හේතු බලපාන බව ඇත්ත ය.ඒ සියල්ල වුවද ඈට එකතු වන්නේ  යහපත්  ආකල්ප  සහ  ගුණයන්  නිසා බව  විමසිලිවන්ත කෙනෙක් ට පසක් වනු ඇත.
මේ කෘතියේ නව අනුවර්තනය " තාරක විපුලගුණ ගෙනි. හේ නිර්මාණ කාර්‍ය්යට අලුත් කෙනෙක් හෝ මුහුණ ක් නොවේ.ඔහු කාලයක් පටන් විවිධ ක්ෂේත්‍ර අතර සැරිසරමින් කුසලතා පිරි අයෙකි .නිර්මාණ කරුවෙකි.මේ කෘතිය කියවන  ඕනෑම කෙනෙක් ඊට මා හා එකඟ වනු ඇත.
මෙබඳු කෘති පාඨක සහෘද අප වෙත පිරිනැමීම පිළිබඳව කඩුල්ල ප්‍රකාශන ආයතනය ට මම මගේ ආදරය සහ ස්තූතිය පිරිනමමි .
" එක ගෙඩියක් මම කඩනවා - තවත් එකක් ගැන බලමින් 
තුන්වෙනි යත් මට  පෙනෙනවා - හතර වෙනියා එබී බලයි."
බොහොම ඉක්මනින් ශේන්යා ගේ ජෝගුව සම්පූර්ණයෙන් ස්ට්‍රෝබෙරි වලින් පිරී ගියා .
          - නළාව සහ ජෝගුව -
ඉවසීම සහ පිළිවෙළ ඇති තැන අස්වැසිල්ල ඇති බව ඈ මෙන්ම අපි ද අත්දැකීමෙන් උගනිමු.
             සම්මානී විජේසිංහ .

Leave a Reply

Your email address will not be published.