අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය.නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප්‍රමාණයේ කුහරයකි. හිර ගෙදර හා ඒ අවට වෙඩි හඬ වලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්‍රීය ගිනි අවි වලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමන් තිබුණි.පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට කරන වෙඩි තැබීමට ගුවන් භටයෝ වෙඩි සිය දහස් ගණනින් පිළිතුරු දෙති. අපට තිබුණ එකම වාසිය බේස්ලයින්පාරේ තිබූ සන්නද්ධ රථය ක්‍රියාත්මක නොවීමය. ඒ අපේ හොඳම වෙඩික්කරුවෙකු යොදවා තිබිණ.ඔහු වෙස්ලි විදුහල ඇතුලේ සිට නොකඩවාම වෙඩි තබමින් ප්‍රහාරක ගුවන් භටයා සන්නද්ධ රථයට ඇතුළු වීම වළකවමින් සිටියේය. ඒ වගකීම හරියටම ඉටු කළේ ලයනල් රණසිංහය.
බෝම්බයෙන් පුපුරා ගිය කුහරය අසලම අට්ටාලයේ සිටි භටයා වෙඩි තබද්දීම ඉණිමඟ දිගේ උඩට ගමන් කළ උපාලි දිවි නොතකා පෙට්‍රල් බෝම්බයක් රැගෙන අට්ටාලයට කිට්ටු වෙද්දී සෝමෙ ඉතා හැඟුම්බර ලෙස, උපාලි බලාගෙන මූ වෙඩි තියාවි උඩටම යන්න එපා යි කීවේය. ඒ අතර තාප්පය අසල උන් අපි සැවොම ගිනි අවිය බිමට දා යටත් වන ලෙස ගුවන් භටයාට කෑ ගසමින් සිටියෙමු. ඉණිමඟ දිගේ උඩට ගිය උපාලි පැට්‍රල් බෝම්බය විසි කිරීමට පෙර ගුවන් භටයා අවියත් සමඟම අට්ටාලයෙන් බිමට පැන පලා ගියේය.ඈතින් පිහිටි අට්ටාල වල සිටි ගුවන් භටයන් වෙඩි තබා ගනිමින් සිටින්නේ පිටත සිටි අපේ කණ්ඩායම් දෙක සමඟය. එහෙත් දැන් ආසන්න අනතුරු අවසානය. අපි ආසියාවේ විශාලම හිරගෙය බිඳ වාර්තාවක් තැබීමට සූදානම් වෙමින් සිටියෙමු.
Reviews
There are no reviews yet.